Wednesday, January 11, 2012

පසුව ලියමි

අපොයි වෙච්ච දෙයක්! දැන් තමයි ඕං හුස්මක් කටක් ගන්න වෙලාවක් හම්බුනේ. හසිත අයියා ගේ ආගිය කතා බ්ලොග් අඩවියේ මේ බ්ලොග් අඩවිය ගැන ලියවෙච්චි නිසාමත් කාලෙකින් ලිපියක් ලිව්වෙ නැති නිසාත් ඕං මට හිතක් පහළ වෙලා ලිපියක් ලියන්න අතගැහුවා.
අන්තිම බ්ලොග් ලිපිය ලියලා වැඩි කල් යන්න උනේ නෑ මගේ පරිඝණක යන්තරේට නොනගතේ උදා වුනා. අලුත් අවුරුද්ද වෙනකම්ම සනීප නොවෙන ලෙඩක් බෝ වෙලා ක්‍රියා විරහිතව පැත්තකට වෙලා උන්නා. ඒ කාලේදි  ඉතිං හැමදේටම පිහිට උනේ මගේ ලැප්ටොප් එක තමයි. කරුමෙට ඒකේ යතුරු පුවරුවේ සිංහල අකුරු නෑ. සිංහල ටයිප් කරලත් එච්චර හුරුවක් නැති එකේ මට සිද්ධ වුනා තාවකාලිකව බ්ලොග් එක ලියන් එක නවත්තන්න. කොහොමෙං කොහොමෙං හරි පරණ යන්තරේ අටවාගෙන අයේ බ්ලොග් කෙරුවාව පටං ගන්න තමයි මේ ලක ලෑස්ති වෙන්නේ.
නිකමා කිව්වාම කවුරුත් දන්නැති වුනත් නිකමා ගැන විස්තර මේ රටේ උදවිය යන්තං දන්නවා කියලා කනින් කොනින් ආරංචි වෙන්න අරං දැන් ටිකක් කල්. ඒ මේ පහුගිය වංගියේ මහා ගිනිවිජ්චුම්බරයක් වෙච්චි විභාගයක් ඉහලින්ම නිකමා සමත් වෙච්චි නිසාලුනේ. ඒ හින්දද කොහෙද නිකමාට මේ දවස් වල හෝ ගාලා වැඩ රාජකාරි. අරෙහෙද මෙහෙද හැමතැනම යන්න වෙලානෙ.
මෙන්න මේ වෙලාවට තමයි නිකමාට මතක් වෙන්නේ මේ ලෝකේ මොනතරම් බොරුවක්ද කියලා. ඉස්සර නිකමා උනත් ඉහලින්ම විභාග පාස් වෙච්ච උදවිය දැක්කාම “ මෙන්න මිනිස්සු, ඒගොල්ලො අද කොච්චර සතුටකින් ඉන්නවාද,..... අනේ අපිටත් ඒ තත්තෙට එන්න ඇත්නං“ කියලා හිතිච්ච වාර ගාන අනන්තයි. අද නිකමා දිහා බලාන පෙළක් උදවිය එහෙම දාඩවනවාත් ඇති. ඒත් අපොයි ඇවිල්ලාම බලන්න ඕන මෙතන ඇති ඔය කියන තරං සන්තෝසයක් නෑ. තව සතියකින් දෙකකින් ඔය කාටවත් නිකමාව මතක තියෙන එකකුත් නෑ. අනික අටලෝ දහමට අනුව හෙට අනිද්දම නොසෑහෙන්න බැනුම් අහන්න උනත් ඒ ගැන පුදුම වෙන්න කාරියක් නෑ.
දැං මේක කියවන උදවිය හිතනවද මන්දා “මේකට මෙච්චර දෙයක් ලැබිලත් සංතෝසයක් නැති හැටි“ කියලා. ඒත් ඒක තමා ඇත්ත. පොඩ්ඩක් වත් සංතෝස නැතුවා නෙමේ. සංතෝසයි. ඒත් ඹය කියන තරං සතුටක් මෙතන නෑ. හැබැයි මම මීට අඩු ප්‍රතිඵලයකට ආවා නම් අනේ අපොයි මට පළවෙනියා වෙන්න බැරි උනානේ තියලා අදටත් හූල්ලයි.
ඉතිං නිකමාට කියන්න ඕන උනේ මෙච්චරයි. අපි හැමෝම ජීවිතේ සතුට හොයාගෙන වැඩ කරනවා. කරන හැම වැඩකම යටි අරමුණ සතුට. ගොඩක් වෙලාවට අපිට අරමුණට ලං වෙන්න බැරි වෙනවා. ඉතිං ලෝකෙටම දෙස් දෙවොල් තියං වැලපෙනවා. බැරි වෙලාවට හරි අරමුණ ජයගත්තොත් හීන් සැරේ තව අරමුණක් හිතට රිංගනවා. ඕං ඉතිං ආයේ ඒක පස්සේ දිවිල්ල. ඒ විතරක් නං බැරියෑ. ඔය දුවන අතරේ ගහ මරා ගැනිලි ඇණ කොටා ගැනිලි අඩුවක් පාඩුවක් නැතිව කරනවා. අන්තිමට නිකම්ම නිකං වයසට ගිහිං මැරිලා යනවා. දුවපු එක මිසක් සතුටක් විඳපු අවස්තාවක් නෑ.
ඕං ඉතිං වැරදියට තේරුං අරං අද ඉඳන් ඔක්කොම වැඩ අත්තැරලා දාන්න උවමනාවක් නෑ. වැඩ කරන තරමට හොඳයි. ඒත් ඉතිං අපේ මේ ජීවිතේ දිහා අපස්සට බලලා පොඩියකට ඇත්ත තේරුං ගන්න එක වටිනවා. සතුට තියෙන්නේ කොහෙද? ඒක හොයන්න මේ ලිපිය කියවන ඔබට බාරයි. දන්නවා පිං අයිති වෙයි සටහනක් දාලා යන්නකෝ.

නිකමා