Friday, October 7, 2011

පූසා

අපි හොඳ සංස්කෘතියක් වගේම සදාචාරයක් එහෙම තියෙන ජාතියක් නෙ. ඒ වගේම අපිට තියෙනවා අපිටම කියල අනන්‍ය වෙච්ච සම්ප්‍රදායක්. මේක ජාතියක් විදිහට විතරක් නෙමේ සමාජයේ ඇතුලටම මේ සම්ප්‍රදාය කියන එක කිඳා බැහැල තියෙනවා. පාසැල්, විශ්ව විද්‍යාල, විවිධ පළාත්, ගම් බිම්, විරක් නෙමේ පවුල් මට්ටමිනුත් මේ සම්ප්‍රදායයන් කියන ඒවා තියෙනවා.
උදාහරණයක් කියනවා නම් අපේ තාත්තලාගේ ගම් පළාතෙ ඒ කියන්නෙ බෙලිඅත්ත පැත්තේ පන්සල් වල බණ කියනකොට ‘බුදුරජාණන් වහන්සේ’ කියල කියනකොටම බණ අහන හැමෝම සාධුකාරයක් දෙනවා. ඒ වුනාට ගම්පහ වත් කොළඹ වත් එහෙම කරන්නෙ නෑ.
මගේ පාසැල, කොළඹ රාජකීය විද්‍යාල‍යේත් මේ වගේ සම්ප්‍රදායයන් ගොඩක් තියෙනවා. අපි ගුරුවරු දැක්කහම ආයුබෝවන් කියල කියනවා. ඒ වගේම අපි Quadrangle එක උඩින් ඇවිදින්නේ නෑ.
මේව මක්කොම හොඳ සම්ප්‍රදායයන් කියලා කියන්න පුලුවන්. නමුත් ඉන්දියාවේ ‘සති පූජාව’ වගේ සම්ප්‍රදායයන් කොච්චර දුරට සාධාරණ ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේම ලෝකයේ හොඳයි කියල හිතන්න බැරි සම්ප්‍රදායයන් ගොඩක් තියෙනවා. සමහරක් ඒවා විවිධ ආගම් වලට අනුබද්ධයි. ආගමට පිටින් බලන කෙනෙකුට පේන විදිහව නෙමේ ඒ ආගම ඇතුලින් බලන කෙනෙකුට පේන්නේ. ( එක සැරයක් BBC එකෙන් ලංකාවේ පෙරහැරවල් වලට අලි යොදා ගැනීම සත්ත්ව හිංසාවක් කියලා කිව්වම අපි ඔක්කොම ඒකට විරුද්ද වුනානේ)
ලංකාවේ නම් සම්ප්‍රදායයන් රැකීම කෝකටත් හොඳයි. ඒ මොකද සම්ප්‍රදායයක් කියන්නේ පරම්පරා ගණනක් තිස්සේ මිනිස්සු අනුගමනය කරපු එක්තරා විධික්‍රමයක්නෙ. ඒ වගේ ඒවා ඇතිවෙන්නේ මිනිස්සුන්ගේම හොඳට. අනික අපේ සම්ප්‍රදායයන්‍ ගොඩක් ‍‍බෞද්ධ පසුබිමකින්නෙ හටගන්නේ. මේ සම්ප්‍රදායයන් කියන ඒවා මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් උරුමයි. කැස්බෑවො වගේම ගොඩක් කුරුල්ලො බිත්තර දාන්නේ අවුරුද්දෙ එකම කාලෙක එකම තැනකදී. ඒ වගේම කුරුල්ලො හැම අවුරුද්දෙම එකම කාලයකදී සංක්‍රමණය කරනවා. ගස් වල මල් පිපීමත් මේ විදිහයි.
මම මේ කියන්න හදන්නේ සම්ප්‍රදායයන් රැකීමේ වැදගත්කම වත් ඒවා රකින්න කියන එකවත් නෙමේ. මිනිස්සුන්ට තියෙනවා කවුරුත් කරන දේ කිරීම, එහෙම නැතිනම් අතීතයේ කරපු දේවල් එලෙසින්ම කිරීමේ පුරුද්දක්. ඒ වගේම අලුත් හා වෙනස් අදහස් වලට කොයිවෙලෙත් විරුද්ධ වෙන ගතියක්.
‘එකොමත් එක කාලෙක එක සෙන් විහාරයක් තිබුනා.මේ විහාරයේ සෙන් භික්ෂූන් වහන්සේ ලා කිහිප නමකුත් වැඩ සිටියා. ඒ විතරක් නෙමේ මේ විහාරයේ පූසෙකුත් හිටියා. ඔන්න එක දවසක් මේ භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න ලෑස්ති වෙද්දිම අර පූසා නවත්තන්නෙ නැතිවම කෑගහන්න පටන් ගත්තා. කොච්චර හයියෙන් කෑ ගහනවද කිව්වොත් හාමුදුරුවන්ට භාවනා කරගන්නත් බැරි වුනා. බැරිම තැන ලොකු හාමුදුරුවො ඇබිත්තියට කිව්වා අර පූසාව ගිහින් ගැටගහල දාන්න කියලා. ඉතිං එදා පූසාව ගැට ගැහුවයින් පස්සෙ හාමුදුරුවො භාවන කළා.
ඊට පස්සේ දවසෙත් හාමුදුරුවො භාවනා කරන්න එද්දි අර පූසා ආයෙම පාරක් කෑ ගහන්න ගත්තු නිසා එදත් ලොකු හාමුදුරුවන්ගෙ නියමයෙන් අර පූසව ගැටගැහුවා. දිගටම මේ විදිහට වෙච්ච නිසා පහු වෙනකොට ලොකු හාමුදුරුවෝ භාවනා කරන්න එන්න කලින් ම පූසව ගැට ගහන්න කියල නියෝග කරන්න ගත්තා.මේ විදිහට අවුරුදු ගණනාවක්ම ගතවුනා. ලොකු හාමුදුරුවෝ අපවත් වුනා. අලුත් ලොකු හාමුදුරුවො කෙනෙක් පත්වුනා. ඒ හාමුදුරුවොත් භාවනා කරන්න පටන් ගන්න කලින් අර පූසාව ගැට ගහන්න නියම කරනවා. ඔන්න ටික කාලෙකට පස්සේ අර පූසා මැරුනා. එතකොට අලුත් පූසෙක් පංසලට ගෙනල්ලා හාමුදුරුවො භාවනා කරන්න කලින් ඒ පූසාවත් ගැට ගහන්න ගත්තා.
ඔහොම ශත වර්ෂ ගණනාවක්ම ගතවුනා. පස්සෙ කාලෙක ඒ පංසලේ ඉන්න පොඩි හාමුදුරුවො නමක් පාඩම් කරමින් හිටියා. ඒ ‘ භාවනා කරන්න පටන් ගන්න කලින් පූසෙක් ව ගැට ගැසීමේ වැදගත්කම’ ගැන.’       

14 comments:

  1. කරන්නන් වාලේ මිනිස්සු කරන වැඩ ගැන මාත් හුඟාක් කතා බ්ලොග් එකෙන් කියලා තියෙනවා.

    විශේෂයෙන්ම ගාථා කියන එක වගේ වැඩ අපේ අය හුඟාක් කරන්නේ කනට ඇහුනු විදිහට වරද්ද වරද්ද තේරුමක් හරියට දන්නේ නැතුව. තවත් එකී මෙකී නොකී වැඩ තියෙනවා අපේ අය කරන :))

    වඳුරන්ගෙත් මේ වගේ කතාවක් තියෙනවා. වඳුරෝ කට්ටියක් කූඩුවකට දාලා උඩින් කෙහෙල් ගෙඩි වගයක් එල්ලලා තියෙනවා. කවුරු හරි වඳුරෙක් කෙහෙල් ගෙඩි ගන්න යද්දී අනිත් වඳුරන්ට සීතල වතුරවලින් ගහනවා. එතකොට අනිත් වඳුරෝ කෙහෙල් ගෙඩි ගන්න ගිය එකාව පහළට අදිනවා.

    මේ වැඩේ මෙහෙම වෙද්දී එක එක වඳුරා ගානේ අයින් කරලා අලුත් වඳුරෝ දානවා. හැබැයි ඒ වෙද්දී කෙහෙල් ගෙඩි ගන්න මොකෙක් හරි යද්දී අනිත් එවුන්ට වතුර ගහන්නේ නැහැ. ඒත් අනිත් එවුන් කෙහෙල් ගෙඩි ගන්න ගිය එකාව අදිනවා.

    අන්තිම වෙද්දී කූඩුවේ ඉන්නේ සීතල වතුර ප්‍රහාරයට ලක්වුණු වඳුරෝ නෙමෙයි. ඒත් ඒත් එකෙක්වත් කෙහෙල් ගෙඩි ගන්න යන්නෙත් නැහැ. අනිත් එකාට ගන්න යන්න දෙන්නෙත් නැහැ. හේතුවක් උන් දන්නේ නැහැ. කලින් එවුන් කරපු පුරුද්දටම තමා උනුත් කරන්නේ....

    මේක කතාව මටත් මතක විදිහට කිව්වේ. තේරුණාද දන්නේ නැහැ :))

    ReplyDelete
  2. මේක නියම කතන්දරයක්...... අනුකරණය යන්න පුළුවන් දුර!

    ReplyDelete
  3. හසිත අයියේ, බ්ලොග් එක බලලා comment කලාටත් උපදෙස් දුන්නටත් ගොඩක් ස්තූතියි. අයියාගේ කතාව තේරුනා වගේම ඒක මේ මාතෘකාවට ගොඩක් ගැලපෙනවා.
    කවුරුත් කරන දේ කරන එක මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් උරුම ගතියක් වෙන්න ඕන.
    පංතියේදී වුනත් මොකක් හරි ප්‍රහ්නයකට හරි උත්තරය දන්න කට්ටියට අත උස්සන්න කියල කිව්වම ඉස්සල්ලා එක්කෙනෙක් අත උස්සනකම් කවුරුවත් අත උස්සන්නේ නෑ නේ. ඒකට එකම හේතුව කවුරුත් තාම අත ඉස්සුවේ නෑනේ කියන එකනේ ද?
    අපි කවුරුත් අලුත් දෙයක් තනියම කරන්න බයයි, ලැජ්ජයි. කොටින්ම කිවුවොත් ශරීර කෘත්‍යයකට යන්නෙත් අඩුම ගානෙ දෙන්නෙක් එක්කනෙ. ඉතිං අලුත් දෙයක් ගැන මොන කතාද?

    මේ ලොකේ අලුත් කරන්න පුලුවන්, වෙනස් කරන්න පුලුවන් අදහස් නම් කීයක් දැනට ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ඔලු වලට ඇවිල්ලා ඇති ද? ඒ වුනාට ඒ ඔක්කොම නිනම්ම අදහස් විදියටම නැතිවෙලා යන්න ඇති. මේකට හේතුව අපි ඔක්කොම කලින් කරපු දේම කරන්න පෙලඹෙන එකනේ. එහෙම කලත් කමක් නෑ හේතුවක් ඇතිව.

    මේකෙන් වෙන ලොකුම හානිය තමයි මුලු සමාජයේම පාලනය මිනිස්සු කීපදෙනෙක් අතට යන එක. සමාජයේ අලුත් රැල්ලක් හදන්න පුලුවන් නම් ඕනම අඳුමක්, ඕනම සිංදුවක් සමාජගත කරලා ඉහල මිකට විකුනගන්න පුලුවන්. ඒකෙන් වෙන ප්‍රයෝජනයෙන් එච්චර වැඩක් නෑ.

    රටට දේශපාලනික වශයෙනුත් මේක ගොඩක් බලපානවා. පරම්පරාවෙන් ආපු පක්ෂය, යාලුවගේ පක්ෂය, අල්ලපු ගෙදර එක්කෙනා ඡන්දෙ දෙන්නෙ කාටද? වගේ දේවල් සලකලා තමයි ගොඩක් අය ඡන්දය පාවිච්චි කරන්නේ.

    ඕනෙම දෙයකට හේතුව හොයලා බලන (බුදු දහමට අනුව හේතු ඵල වාදීව)බුද්ධිමත් සමාජයක් හැදුනාම රට දියුණු වෙන එක නවත්තන්න බැරි වෙයි.

    ReplyDelete
  4. @ විසිතුරු- ගොඩක් ස්තූතියි comment එකට. දිගටම බ්ලොග් එක කියවලා comment කරන්න කියලා ආරාධනා කරනවා.

    ReplyDelete
  5. හසිත ගේ බ්ලොග් එකෙනුයි මේ පැත්තට ආවේ.. සුභ පැතුම් ලංකාවේ පලමුවෙනියට :)))

    ReplyDelete
  6. Congratulations, brother.

    ReplyDelete
  7. මාත් අද දැන ගත්තේ මල්ලි ලංකාවෙන් පළවෙනියා කියලා.. සුබ පැතුම්.. දිගට ම බ්ලොග් එකත ලියන්න.. එල!!

    ReplyDelete
  8. ඔන්න මගෙනුත් සුභ පැතුම් යාළුවා!

    ReplyDelete
  9. මල්ලිට මගෙනුත් සුබ පැතුම් !!
    අදනේ දන්නේ මල්ලි බ්ලොග් ලියනවා කියලා.:)

    ReplyDelete
  10. ලංකාවෙ පළවෙනියා වුණාට වගේම....හොඳ බ්ලොග් කරුවාට මගෙන් සුබ පැතුම්.. ලස්සන ලිපියක්

    ReplyDelete
  11. හොඳ අදහස් ටිකක්.. මල්ලිට සුබ පැතුම්.. හසිතට පිංසිද්ධ වෙන්න තමයි දැනගත්තේ ඕං මල්ලි ගැනයි මල්ලිගේ වැඩ ගැනයි..

    සම්ප්‍රදාය බිඳීම කරන්න ඕන පරෙස්සමින් කියන එකයි මගේ අදහස. සම්ප්‍රදායයක් ගොඩනැඟිලා තියෙන්නේ නිකම් නෙවෙයිනේ..

    ReplyDelete
  12. First of all wish you all the best malli on your achievements.

    Nice article. I first heard this story from non other than Mr.Rohan Weerasekara!

    Like to make comment on what Hasitha said. The monkey incident is a classic example of what we call a "paradigm" ( do not know the Sinhala term). That is about how our pre-conceptions affect our future decisions.As an example because of the constant degrading of politicians through media and by word of mouth our generation is fed the idea that politics is bad (the paradigm) hence good, intelligent people will hesitate to follow a career in politics. but there is no tradition or rule as such to prevent a professor from entering to politics.

    Though closely attached, in traditions we do not make any decisions. We follow what is passed on. The example here would be father passing on a traditional craft to his son.This is tradition. no choice.

    However both can and will be bad at situations. The failure comes when we are unable to make decisions on merit.

    As I think there is only two things you need to do in life; take decisions , live with their consequences.

    All the best malli,

    KIUN

    ReplyDelete
  13. @ඉසුරු

    paradigm වලට සිංහලෙන් භාවිත වන වචනේ තමා "පදනම්වාද" කියන එක............

    ReplyDelete
  14. හික්. දැන් කාලේ වෙන්නේ ඔය දේ තමයි

    ReplyDelete