අපි හොඳ සංස්කෘතියක් වගේම සදාචාරයක් එහෙම තියෙන ජාතියක් නෙ. ඒ වගේම අපිට තියෙනවා අපිටම කියල අනන්‍ය වෙච්ච සම්ප්‍රදායක්. මේක ජාතියක් විදිහට විතරක් නෙමේ සමාජයේ ඇතුලටම මේ සම්ප්‍රදාය කියන එක කිඳා බැහැල තියෙනවා. පාසැල්, විශ්ව විද්‍යාල, විවිධ පළාත්, ගම් බිම්, විරක් නෙමේ පවුල් මට්ටමිනුත් මේ සම්ප්‍රදායයන් කියන ඒවා තියෙනවා.
උදාහරණයක් කියනවා නම් අපේ තාත්තලාගේ ගම් පළාතෙ ඒ කියන්නෙ බෙලිඅත්ත පැත්තේ පන්සල් වල බණ කියනකොට ‘බුදුරජාණන් වහන්සේ’ කියල කියනකොටම බණ අහන හැමෝම සාධුකාරයක් දෙනවා. ඒ වුනාට ගම්පහ වත් කොළඹ වත් එහෙම කරන්නෙ නෑ.
මගේ පාසැල, කොළඹ රාජකීය විද්‍යාලයේත් මේ වගේ සම්ප්‍රදායයන් ගොඩක් තියෙනවා. අපි ගුරුවරු දැක්කහම ආයුබෝවන් කියල කියනවා. ඒ වගේම අපි Quadrangle එක උඩින් ඇවිදින්නේ නෑ.
මේව මක්කොම හොඳ සම්ප්‍රදායයන් කියලා කියන්න පුලුවන්. නමුත් ඉන්දියාවේ ‘සති පූජාව’ වගේ සම්ප්‍රදායයන් කොච්චර දුරට සාධාරණ ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේම ලෝකයේ හොඳයි කියල හිතන්න බැරි සම්ප්‍රදායයන් ගොඩක් තියෙනවා. සමහරක් ඒවා විවිධ ආගම් වලට අනුබද්ධයි. ආගමට පිටින් බලන කෙනෙකුට පේන විදිහව නෙමේ ඒ ආගම ඇතුලින් බලන කෙනෙකුට පේන්නේ. ( එක සැරයක් BBC එකෙන් ලංකාවේ පෙරහැරවල් වලට අලි යොදා ගැනීම සත්ත්ව හිංසාවක් කියලා කිව්වම අපි ඔක්කොම ඒකට විරුද්ද වුනානේ)
ලංකාවේ නම් සම්ප්‍රදායයන් රැකීම කෝකටත් හොඳයි. ඒ මොකද සම්ප්‍රදායයක් කියන්නේ පරම්පරා ගණනක් තිස්සේ මිනිස්සු අනුගමනය කරපු එක්තරා විධික්‍රමයක්නෙ. ඒ වගේ ඒවා ඇතිවෙන්නේ මිනිස්සුන්ගේම හොඳට. අනික අපේ සම්ප්‍රදායයන් ගොඩක් බෞද්ධ පසුබිමකින්නෙ හටගන්නේ. මේ සම්ප්‍රදායයන් කියන ඒවා මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් උරුමයි. කැස්බෑවො වගේම ගොඩක් කුරුල්ලො බිත්තර දාන්නේ අවුරුද්දෙ එකම කාලෙක එකම තැනකදී. ඒ වගේම කුරුල්ලො හැම අවුරුද්දෙම එකම කාලයකදී සංක්‍රමණය කරනවා. ගස් වල මල් පිපීමත් මේ විදිහයි.
මම මේ කියන්න හදන්නේ සම්ප්‍රදායයන් රැකීමේ වැදගත්කම වත් ඒවා රකින්න කියන එකවත් නෙමේ. මිනිස්සුන්ට තියෙනවා කවුරුත් කරන දේ කිරීම, එහෙම නැතිනම් අතීතයේ කරපු දේවල් එලෙසින්ම කිරීමේ පුරුද්දක්. ඒ වගේම අලුත් හා වෙනස් අදහස් වලට කොයිවෙලෙත් විරුද්ධ වෙන ගතියක්.
‘එකොමත් එක කාලෙක එක සෙන් විහාරයක් තිබුනා.මේ විහාරයේ සෙන් භික්ෂූන් වහන්සේ ලා කිහිප නමකුත් වැඩ සිටියා. ඒ විතරක් නෙමේ මේ විහාරයේ පූසෙකුත් හිටියා. ඔන්න එක දවසක් මේ භික්ෂූන් වහන්සේලා භාවනා කරන්න ලෑස්ති වෙද්දිම අර පූසා නවත්තන්නෙ නැතිවම කෑගහන්න පටන් ගත්තා. කොච්චර හයියෙන් කෑ ගහනවද කිව්වොත් හාමුදුරුවන්ට භාවනා කරගන්නත් බැරි වුනා. බැරිම තැන ලොකු හාමුදුරුවො ඇබිත්තියට කිව්වා අර පූසාව ගිහින් ගැටගහල දාන්න කියලා. ඉතිං එදා පූසාව ගැට ගැහුවයින් පස්සෙ හාමුදුරුවො භාවන කළා.
ඊට පස්සේ දවසෙත් හාමුදුරුවො භාවනා කරන්න එද්දි අර පූසා ආයෙම පාරක් කෑ ගහන්න ගත්තු නිසා එදත් ලොකු හාමුදුරුවන්ගෙ නියමයෙන් අර පූසව ගැටගැහුවා. දිගටම මේ විදිහට වෙච්ච නිසා පහු වෙනකොට ලොකු හාමුදුරුවෝ භාවනා කරන්න එන්න කලින් ම පූසව ගැට ගහන්න කියල නියෝග කරන්න ගත්තා.මේ විදිහට අවුරුදු ගණනාවක්ම ගතවුනා. ලොකු හාමුදුරුවෝ අපවත් වුනා. අලුත් ලොකු හාමුදුරුවො කෙනෙක් පත්වුනා. ඒ හාමුදුරුවොත් භාවනා කරන්න පටන් ගන්න කලින් අර පූසාව ගැට ගහන්න නියම කරනවා. ඔන්න ටික කාලෙකට පස්සේ අර පූසා මැරුනා. එතකොට අලුත් පූසෙක් පංසලට ගෙනල්ලා හාමුදුරුවො භාවනා කරන්න කලින් ඒ පූසාවත් ගැට ගහන්න ගත්තා.
ඔහොම ශත වර්ෂ ගණනාවක්ම ගතවුනා. පස්සෙ කාලෙක ඒ පංසලේ ඉන්න පොඩි හාමුදුරුවො නමක් පාඩම් කරමින් හිටියා. ඒ ‘ භාවනා කරන්න පටන් ගන්න කලින් පූසෙක් ව ගැට ගැසීමේ වැදගත්කම’ ගැන.’